දියණියකගෙන් මවකට ලැබුණු පිලිතුර
1927 දෙසැම්බර් 28 - චිකාගෝ නුවර සීතල රාත්‍රියක චිකාගෝ නගරය හිමෙන් වැසී තිබුණි. ශීතල සුළඟ රෝහලේ කවුළු අතරින් කෙඳිරිගාමින් හමා යයි. රෝහලේ කොරිඩෝව දිගේ ඇසෙන්නේ එහා මෙහා යන හෙදියන්ගේ සපත්තු හඬ පමණි.
විසි හැවිරිදි හෙලන් මොරිසන් සිටියේ තම හදවතේ ගැස්ම පවා අසල සිටින අයට ඇසේවි යැයි බියෙනි. ඇය හෙද පුහුණුවේ අවසන් වසරේ ශිෂ්‍යාවකි. ඇගේ සුදු පැහැති ලිහිල් නිල ඇඳුම යටින්, මාස අටක් තිස්සේ ඇය ලෝකයෙන් සඟවාගෙන සිටි භයානක රහසක් විය.
ඇය ඇගේ උදරය රෙදි පටිවලින් තදින් වෙළාගෙන සිටියාය. ඒ තද බව නිසා ඇයට හුස්ම ගැනීම පවා අසීරු විය. නමුත් ඒ වේදනාවට වඩා ඇය බිය වූයේ තම අනාගතය අඳුරු වේ යැයි කියාය. එවකට සමාජය "අවිවාහක මවක්" දෙස බැලුවේ පිළිකුලෙනි.
දරුවා ලැබෙන්නට යන බව දැනගත් සැණින් ඇගේ පෙම්වතා ඇයව හැර ගොස් තිබුණි. ඇයට ඉතිරිව තිබුණේ තේරීම් දෙකක් පමණි: එක්කෝ දරුවා වෙනුවෙන් හෙද සිහිනය අතහැර දරුවාද සමගින් පාරට වැටීම, නැතිනම් කෙසේ හෝ මේ රහස රැකගැනීමට තනිවම සටන් කිරීම.
රාත්‍රී සේවා මුරය අතරතුර හදිසියේම ඇයට ප්‍රසූත වේදනාව ඇති විය. දහඩිය බිංදු ඇගේ නළල දිගේ පහලට ගලා යන්නට විය. ඇයට උදව් ඉල්ලා කෑ ගැසීමට අවශ්‍ය වුනත් එය කල නොහැකිය. උදව් ඉල්ලූ සැණින් ඇය හෙද පාසලෙන් නෙරපා හරිනු ඇත. ඇය අමාරුව නොපෙන්වා සෙමින් ඇවිද ගොස් රෝහලේ කෙළවරක තිබූ කුඩා "සැපයුම් කාමරයට" (Supply Room) රිංගා ගෙන දොර අගුළු දැමුවාය.
කෘතිම ආලෝකය යට, රෝහල් උපකරණ මැද, හෙලන් තනිවම තම දරුවා බිහි කිරීමට සූදානම් වූවාය. මෙතෙක් ඇය ඉගෙන ගත් දේ එදා ඇය පාවිච්චි කළේ තමා වෙනුවෙන්මයි. ඇය වේදනාවෙන් දත් මිටි කෑවාය. කෑගැසීමක් පිට නොවන්නට ඇය තම අත් ලේන්සුව කටින් හපා ගත්තාය. ලෝකයම නිදා සිටියදී, ඒ කුඩා භාන්ඩ පිරි කාමරය තුළ මරණයත් උපතත් අතර සටනක් සිදුවිය.
පාන්දර 3:00 ට ඇගේ දියණිය මෙලොවට බිහි විය. ඇය රතු පැහැති, නිරෝගී ලස්සන දරුවෙකි.
හෙලන් වෙව්ලන දෑතින් පෙකණි වැල කපා, දරුවාව පිරිසිදු කර කාමරයේ තිබූ වෙලුම් පටි වලින් එතුවාය. ඒ මොහොතේ ඇගේ හදවත දෙකට පැලී යනවාක් මෙන් ඇයට දැනුණි. ඇය දරුවාව පපුවට තබාගෙන විනාඩි කිහිපයක් හඬා වැටුණාය. ඇයට අවශ්‍ය වූයේ දරුවා රැගෙන කොහේ හෝ පලා යන්නටය. නමුත් ඇයට යන්නට තැනක් තිබුණේ නැත.
"මට ඔයාව රැකගන්න බැහැ පැටියෝ ... ඒත් මම ඔයාට ආදරෙයි," ඇය දරුවාගේ නළල සිඹ ඇය අසල තිබූ කොළ කැබැල්ලක මෙසේ ලිව්වාය:
"කරුණාකර මේ දරුවා රැකබලා ගන්න. මවට ඇයව තබා ගත නොහැක. කරුණාකර ඇයව හොඳ පවුලකට ලබා දෙන්න."
ඇය දරුවාව එහි තබා, නැවතත් තම වාට්ටුවට ගියාය. ඇය තම රාත්‍රී සේවා මුරය අවසන් කළේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. නමුත් ඇගේ ආත්මයෙන් අඩක් ඒ කුඩා කාමරය තුළ මිය ගොස් තිබුණි.
1928 ජනවාරි මාසයේදී හෙලන් උපාධිය ලබා හෙදියක් ලෙස වැඩ ආරම්භ කළාය. ඇය සිය වෘත්තිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළාය. පුදුමය නම් ඇය විශේෂඥතාවය ලැබුවේ "මාතෘ අංශය" (Maternity Ward) සඳහා වීමයි. වසර 43 ක් පුරා ඇය දහස් ගණනක් මව්වරුන්ට දරුවන් බිහි කිරීමට උදව් කළාය. හැම දරුවෙකුගේම පළමු හැඬුම ඇසෙන විට, ඇයට මතක් වූයේ ඒ සැපයුම් කාමරයයි.
"අනේ මගේ දරුවා?" ඇය රහසින් හඬා වැලපුනාය නමුත් ඇය කිසිදා තම දියණිය සෙවීමට උත්සාහ කළේ නැත. ඇය සිතුවේ දරුවා සොයා යාම දරුවාගේ ජීවිතයට බාධාවක් වනු ඇති බවයි. ඇය තමාටම දඬුවම් කරගනිමින්, අනුන්ගේ දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කළාය. ඇය විවාහ වූයේද නැත. ඇගේ එකම පවුල වූයේ රෝහලේ වාට්ටුවයි.
හෙලන් මිය යන විට ඇගේ වයස අවුරුදු 82 කි. ඇගේ මරණයෙන් පසු ඇගේ නිවසේ තිබී ලිපියක් හමු විය. එය 1990 දී හෙද සඟරාවක පළ විය.
"මම හෙදියක් වුණේ මගේ දරුවාව කැප කරලා. මම හැමදාම හිතුවේ මම කරපු දේ වැරදිද කියලා. මම ඇයට ආදරය කළේ නැති නිසා නෙවෙයි ඇයව දාලා ගියේ, ඇයට වඩා හොඳ ජීවිතයක් ලැබෙන්න ඕන නිසයි. මම හෙදියක් විදිහට ගත කරපු හැම තත්පරයක්ම මගේ දුව වෙනුවෙන් කරපු වන්දි ගෙවීමක්. මම දන්නේ නැහැ ඇය කොහේ ඉන්නවද කියලා. මම දන්නේ නැහැ ඇය මට සමාව දෙයිද කියලා..."
මේ ලිපිය පළ වී මාස කිහිපයකට පසු, 62 හැවිරිදි කාන්තාවක් ඒ සඟරාවේ කර්තෘට පිළිතුරු ලිපියක් එවා තිබුණි.
"මම තමයි ඒ දියණිය!"
මුළු ඇමරිකාවම මවිතයට පත් කරමින් ඒ දියණිය ඉදිරිපත් වූවාය. ඇය චිකාගෝහි ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටි, දරුවන් තිදෙනෙකුගේ මවකි.
"මගේ අම්මේ... ඔබ මාව අතහැරියා කියලා මට කවදාවත් හිතුණේ නැහැ. මාව හදාගත් පවුල මට හරිම ආදරය කළා. මට ලස්සන ජීවිතයක් ලැබුණා. ඔබ ගත්ත ඒ තීරණය නිසා තමයි අද මම හොඳ තැනක ඉන්නේ. ඔබ හෙදියක් වෙලා දහස් ගණනක් ජීවිත බේරගත්ත එක ගැන මම ආඩම්බර වෙනවා. මම ඔබ ගැන දැනගත්තේ මිය ගියාට පස්සේ වුණත්, මගේ හදවතේ ඔබ ගැන කෝපයක් නැහැ. තියෙන්නේ කෘතඥතාවයක් විතරයි. ඔබ නිවැරදි තීරණය ගත්තා. දැන් නිදහසේ සැතපෙන්න."
අප දකින ලෝකයේ මිනිසුන් ගන්න සමහර තීරණ අපිට වැරදි ලෙස පෙනෙන්නට පුළුවන. දරුවෙකු රෝහල් කාමරයක දමා යන මවක දෙස ලෝකය බලන්නේ සාප කරමිනි. නමුත් ඒ පෙනෙන යථාර්ථයට යටින් ඇති සැබෑ සත්‍යය ඊට වඩා හාස්පසින්ම වෙනස් විය හැකිය.
හෙලන් දරුවාව දමා ගියේ ආදරය නැති නිසා නොව, තම දියණියට තමාට වඩා හොඳ අනාගතයක් දිය හැකි පවුලක් ලැබෙනු ඇතැයි යන ඒකායන විශ්වාසය නිසාය.
ඇය තම මුළු ජීවිතයම අන් අය වෙනුවෙන් කැප කරමින් ඒ "අහිමි වීම" සමබර කළාය. අවසානයේ ඇය ජයග්‍රහණය කළාය. පෙනෙන දේට වඩා යථාර්ථය හැමවිටම ගැඹුරු වන්නේ ඒ නිසාය.

Comments
Post a Comment